පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි...

එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා.

එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. අද නම් මෙහි කාපිරි කිසිවෙක් දකින්න නැහැ.

පැරණි පිටකොටුව – En. geneanet.org

ලංකාවේ කාපිරි

 

අදත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරනවා. 1630 දී මුලින් ම මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත් කාපිරි ජනතාව රැගත් නැවක් ලංකාවට ගෙන්නුවේ පෘතුගීසින්. ඒ අය ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයට යොදවන්නට යි.

1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වුණා. ඉන්පසු කාපිරි ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවල යොදවා තිබෙනවා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන වහල් දූපත පිහිටි තැන එකල කාපිරි ජාතිකයන් රඳවා තිබූ ස්ථානය ලෙස සැලකෙනවා.

 

කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරැක්කවලට යාබද ව අතීතයේ ‘කපිර් වෙල්ට්ඩ්’ නම් විවෘත බිමක් පැවතුණු බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා. ඕලන්ද බසින් කපිර් වෙල්ට්ඩ් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව පසුව කාපිරි සේනාංකයක් ඇති කළ බව පැවසෙනවා.

 

එම සේනාංකය වෙනුවෙන් 1875 දී පමණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කළ බව ද සඳහන් වෙනවා. එහි එක් මායිමක් ලෙස බේරේ වැවත්, අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බව ද සඳහන් වන කරුණක්. මේ ස්ථානයට නුදුරින් පිහිටි පෙදෙසක් 1900 පමණ සිට හැඳින්වූයේ කාපිරි මුඩුක්කුව ලෙස යි.

                        ලංකාවෙ කාපිරි පවුලක් – kiptra.com 

 

අලුතින් දැමූ නම්

කුමාර වීදියෙන් හැරී ගොස් කාපිරි මුඩුක්කුවට පැමිණිය හැකි යි. අදින් දශක කිහිපයකට පෙර සිට කාපිරි මුඩුක්කුව යන නිල නොවන නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා.

 

කාපිරි මුඩුක්කුවට එක්වූ තවත් පාරක් තිබෙන අතර එය කීර්ති මාවත ලෙස නම්කර තිබෙනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමග එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදෙසක්.

 

කාපිරි මුඩුක්කුව

‘කාපිරි මුඩුක්කුවේ’ එදා පැවතුණේ එකිනෙකට බද්ධවුණු මුඩුක්කු ගෙවල්. මෙහි පදිංචි වී සිටියේ නගරයේ දුප්පත් ජනතාවක්. ඔවුන් හොඳ අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක්. වැඩිදෙනෙක් ජීවනෝපාය උපයා ගත්තේ මුට්ට කරගැසීමෙන්.  සමහරු නගර සභාවේ කුණු ඇදීමත් කළා.

වතුර ලබාගැනිමට ළිං  නොතිබූ අතර වත්තටම තිබී ඇත්තේ එක් පයිප්පයක් පමණයි. මේ නිසා වතුර ගැනීමට සැමවිමට දිගු පෝලිම් පැවතුණා.  ව්‍යාපාරික පෙදෙස්වලට ලැබී තිබුණු පහසුකම් මේ වත්තට ලැබී තිබුණේ නැහැ.

 

 

 

 

Madhushanka Chandima

9 博客 帖子

注释
Misha Dananjani 3 在

❤️ thank you