සකුරා මල ??

සමහරවිට එහෙම නොවෙන්න තිබුනා.....?

අමාවක අහසත් ලස්සනයි. හඳ නැති කළු අහසෙ ඕනවට වඩා තරු පිරිලා. ඒකෙත් තීන්නෙ වෙනම ලස්සනක්. අහස කොච්චර පුදුමද? බලන් ඉද්දි කොච්චර දේවල් හිතෙනවද? දුර තීන පුංචි තරුවක් දිලිසෙන දිහා බලන් ඉද්දි දැනෙන්නෙ වෙනස් හැඟීමක්. ඒක පිස්සුවක්ද? පුංචි පුංචි එළි විහිදුවන් කණාමැදිරියො ඈතට පියාඹන් යනවා. කණාමැදිරියෙක් අල්ලගෙන ලස්සන බලන්න ඕන වුනත් ඇයි ඒ සත්තුන්ගෙ නිදහසට කරදර කරන්නෙ කියලා මං ඔහේ බලන් ඉන්නවා. රෑට පරිසරය කළුවර වුනත් එතන හරි ලස්සනයි. රැහැයියන්ගෙ සද්ද අහන් ඉන්න මං හරි ආසයි. අහස නිකං අර පුංචි කාලෙ අහපු සමන් පිච්ච මල් ඉහිරුණු සිංදුවෙ පද පේළි ටිකට අද හොඳට ගැලපෙනවා.
 
 
හැමදාම රෑට අහස දිහා බලන් කල්පනා කරන එක මට පුරුද්දකට ගිහින්. ඒත් හැමදාම කල්පනා කරන්නෙ දුක ගැනම විතරයි. හැමදාම එක රෑපයක්. එකම ඇස් දෙකක්. එකම හිනාවක් වෙනුවෙන් බලන් ඉන්නවා. ආයිත් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත්. 
 
 
මේ හැමදේම පටන් ගෙන මහ කාලයක් නෑ. ඕන නම් මාස හයක් හතක් ඇති. මම වේදාර්යා. හරිම සාමාන්‍ය ගෑනු ළමයෙක්. මගේ පුරුද්දක් තියනවා. මං හැමදාම කැම්පස් එකේ library එකට යනවා. පාඩම් කරන්න නම් නෙවෙයි. ඔළුව ගහන් කල්පනා කරන්න. 
 
 
එහෙම ගිය දවසක තමයි මං අර දැකපු ලස්සනම ඇස් දෙක දකින්නෙ. තද කළු ඇස්. හරිම ගැඹුරුයි. රළු පෙනුමක් එයාට ඒ තද කළු ඇස් එක්ක ඇවිත් තිබුනා. කොන්ඩෙ කර්ල් බොකුටුයි. සුදුත් නෑ කළුත් නෑ. ඒත් හරිම කඩවසම්. 
 
 
ඉතින් එයාව එදා ඉදන් මං හැමදාම library එකේ හෙව්වා. ඒත් එදයින් පස්සෙ දැක්කෙම නෑ. කොහෙද ගියේ? එන්නෙ නැද්ද? හැමදාම කල්පනා කරද්දි දවසක් එයා canteen එකේ එයාගෙ යාළුවො එක්ක හිනා වෙවි ඉන්නවා දැක්කා. මං බලන් හිටියා. එදා තමයි එයාගෙ හිනාව මුලින්ම දැක්කෙ. හරිම ලස්සන හිනාවක් එයාට තිබුනා. නපුරු පෙනුමට ඒ හිනාව හොඳටම ගැලපිලා පෙනුනා. 
 
 
මං හැමදාම library ගියා. එයාව හෙව්වා. දවසක් යාළුවො එක්ක library ගිය වෙලාවෙ යාළුවො ටික එයාව දැකලා එයා පස්සෙන් මාවත් ඇදන් ගියා.එයා පොත් රාක්කයක් ළඟ නතර වුනා.මාත් රාක්කෙ එහා පැත්තෙන් ගියා. එයා මාව දැකකෙ නෑ. යාළුවො ටික මාව දාලා ගියා. මට තනියම ඉන්න බැරි නිසා මං එන්න පොත් රාක්කෙන් ඉස්සරහට එද්දිම එයා ඉස්සරහට ආවා. එදා තමයි මං එයාව ළඟටම දැක්කෙ. හුඟක්ම ළඟින්. අපි දෙන්නා එකට හැප්පුනෙ නෑ. ඒත් මට හිතුනා අර කතාවල ව⁣ගෙ හැප්පුනා නම් හොඳයි නේද කියලා.
 
 
එයාගෙ අතේ පොත් දෙකක් තිබුනා.එක පොතක් බය වුන පාරට බිම වැටිලා තිබුනා. එයා ළඟ පිච්ච මල් සුවඳයි. ඒත් මගේ කල්පනා ලෝකෙ බිඳලා එයා මට කතා කෙරුවා.
 
 
Sorry, මං ඔයාව දැක්කෙ නෑ
 
අහ්...හා...ඒකට...කමක්..නෑ...මේ..මාත්...දැක්කෙ නෑ
 
මට ගොත ගැහුනා. මොන ලැජ්ජාවක්ද මේ. එයා හිනා වුනා. අර ලස්සන හිනාව. තවත් එතන හිටියොත් මං ලැජ්ජ වෙන නිසා මං එතනින් ආවා. ඒත් ඉන්න.
 
මේ පොත ඔයාගෙ අතින් බිම වැටුනා
 
එයා මට කතා කරා. මං පොතක් ගත්තෙ නෑ. බොරුවට පොත් බලනවා කියලා⁣ පේන්න අතේ තියන් හිටපු පොත ඒක.
 
අහ්..ඔව්..මේ...දෙන්න
 
ආයිත් සැරයක්, අයියෝ ගොත ගහනවා. මං එයාගෙ අතින් පොත අරගෙන රාක්කෙන් තියලා පිටිපස්සවත් නොබලා ආවා. එදා ඉඳන් යාළුවො ටික නානප්‍රකාර විහිළු කතා කියෙව්වා මට. 
 
 
මම හැමදාම library ගියා. ඒ සිද්ධියෙන් සති දෙකක් ගිහිනුත් මට එයාව දකින්න පුළුවන් වුනේ නෑ. මට දුක හිතුනා. ඒ නිසා එදා එයා මං එක්ක ඒ වචන දෙක තුන කතා කරපු තැනට දවසක් මම ගියා. ඒත් පොත් රාක්⁣කෙ ළඟ ඉඳපු කෙනා දැකලා මට පුදුම හිතුනා. 
 
 
මේ දෛවයද? එයාව මට මුණ ගස්සනවද? මං එයාව නොදැක්කා වගේ ගියාට ඇහැ කොනින් ඒ පැත්ත බලන් ගියෙ. බොරුවට පොත් රාක්කෙ එහා පැත්තෙ පොත් අල්ල අල්ල පොත් අතරින් පේන එයාගෙ රූපෙ දිහා මං බලන් හිටියා. 
 
 
එයා මොකක්දෝ මන්දා පොතක් බලනවා. ඒ තද කළු පාට ඇස් ඒ පොතේ අකුරු පුරා හරිම උනන්දුවෙන් එහා මෙහා යනවා මං බලන් හිටියා. සිහියක් තිබුණෙ නෑ කොහෙත්ම. ඒත් එක සැරේටම, 
 
ඔහොම හොරෙන් බලන් ඉන්න එක හොඳ දෙයක් නෙවේ
 
එක සැරේටම ඒ තද කළු ඇස් දෙක මං දිහාට හරවලා ඒ කිව්ව විදියට මං ගැස්සිලා ගියා. මං ටක්ගාලා පස්සට වුනා. එයා දැකලාද? මොන ලැජ්ජාවක්ද අනේ මේ. මම ඉක්මනට වටපිට බලලා යන්න හැදුවත් එයා රාක්කෙ එහා පැත්තෙ ඉදන් මෙහා පැත්තට ආවා. දැන් කොහොමද යන්නෙ? 
 
ඇයි හොරෙන් බලන් ඉන්නෙ? 
 
එයා ඇහුවෙ අර තද කළු ඇස් ලොකු කරන්. හරිම ගැඹුරුයි ඒ ඇස්.
 
මං...ම්ම්...නෑ...
 
මොනවද නෑ...
 
බැලුවෙ නෑ...
 
එහෙම ද ?
 
එයා ළඟට ආවා. එයාගෙ පිච්ච මල් සුවඳ අදත් මට දැනුනා. එයා ළඟට එන්න එන්න ඒක හොඳටම දැනුනා.
 
නම මොකක්ද ? 
 
අහ් ?
 
එයා එක සැරේටම නම ඇහුව පාර මං පුදුම වුනා. ඒත් ඇයි නම ? 
 
නම ? 
 
මං බලන් හිටියා. මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා.
මං එකම ප්‍රශ්නෙ කීප වතාවක් අහන්න කැමති කෙනෙක් නෙවෙ, ඒත් මම තුන්වෙනි වතාවටත් අහනවා, නම මොකක්ද ?
 
එහෙම කිව්වම නම් බයත් හිතුණා.
 
වේදාර්යා
 
මං කිව්වම එයා හිනා වුණා. 
 
ලස්සන නමක්
 
එයා කිව්වෙ එච්චරයි. අනිත් පැත්ත හැරිලා ආයිත් පොත් රාක්කෙ පොත් තෝරන්න ගත්තා. එයා හරි උසයි. මට වඩා හුඟක් උසයි. ඒ දිහා ටික වෙලාවක් බලන් හිටිය මම එතනින් යන්න හැරුනත් ආයිත්,
 
ඔයාගෙ නම ?
මං ඇහුවා. එයා ඇහි බැමක් උස්සලා මං දිහා බැලුවා. මං බය වුනා. බනීද? ඒ තද කළු ඇස් දැක්කත් බය හිතෙනවා. 
 
කේෂ්වර 
 
එක පාරින්ම එයා නම කිව්වා. එයාව දැකලා මාස ගානකට පස්සෙ මම නම දැන ගත්තා. මං ඔළුව වනලා ආවා. එයා යන්තන් හිනා වෙනවත් දැක්කා. ඉතින් මං එදා හිටියෙ කොහොම කියලද හිතන්නෙ. පුදුම සතුටක් තිබුනෙ. මාස ගානක් හිත හැමදාම දකින්න ආස කරපු කෙනා එක්ක කතා කරා.ඒ විතරක්ද, නමත් දැන ගත්තා.
 
 
ඉතින් අපි දෙන්නම හැමදාම library එකේදි මුණ ගැහුනා. අපි කතා කරා. එකිනෙකාව අඳුන ගත්තා. මට වඩා එයා අවුරුද්දක් වැඩිමල්. එයා මට එයා කියවපු පොත් එහෙම ගෙනත් දුන්නා. අපි දෙන්නා හුඟක් කතා කරේ පොත් ගැන. 
 
 
අපි මාස දෙකක් එක දිගට library එකේදි මුණ ගැහුනා. මං ඒ දවස්වල පුදුම සතුටකින් හිටියෙ. එයාව මට වසන්ත කාලෙ පිපුන සකුරා මලක් වගේ. මගේ සකුරා මල. එක දවසක් එයා මට තව පොතක් ගෙනැත් දුන්නා.
 
මේක කියවන්න මේක හරි ලස්සනයි.
 
ඔයා හැමදාම ගෙනැත් දෙන්නෙ ඉතින් ලස්සන පොත්නෙ.
 
එයා හිනා වුනා.
 
අද හවසට **** cafe එකට එනවද?
 
මං පුදුම වුනා. අපි හැමදාම කතාබහ කලේ library එකේ විතරයි. ඒත් ඇයි cafe එකක් ? 
 
ඒත් ඇයි ? 
 
එයා හිනා වුනා. එයාගෙ ලස්සන හිනාව.
 
එතනට එන්න වේදා...එතකොට කියන්නම්...
 
එච්චරයි. එයා ගියා. ඉතින් මට පුදුමයි. මං ⁣යාළුවොන්ට කිව්වම එයාලා කිව්වා එයා අද මට විශේෂ දෙයක් කියයි කියලා. ඒත් මට බයයි. මට හරිම අමුතු හැඟීමක් දැනුනෙ. අහසත් අඳුරුයි. වැස්සක් වහින්නත් වගේ තිබුනෙ. 
 
 
මං cafe එක ළඟට ගිහින් එයා එනකන් බලන් ඉද්දි මැසේජ් එකක් එකක් ආවා.
 
මං පාරෙන් එහා පැත්තෙ, බලන්න
 
මං බැලුවා, පාරෙන් එහා පැත්තෙ ඉඳන් එයා මට අත වැනුවා. මං හිනා වුනා. එයා හිනා වෙවි පාර බලලා පාර පැන්නත් පාර පනින්න ගිය එයාවත් හප්පන් විසි වෙලා ගියේ මට කිසි දෙයක් හිතා ගන්න බැරි වෙද්දි. 
 
 
මං දිව්වා. කරන්නෙ මොනවද කියලා මං දන්නෙ නෑ. එයාට හොඳටම තුවාලයි. ඔළුවෙන් ලේ එනවා. ලේ ගලන එයාගෙ ඔළුව අරන් අඬ අඬම මං මගෙ උකුල උඩින් තියා ගත්තෙ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව.
 
 
වටපිටාවෙ මිනිස්සු ambulance කෝල් කරද්දි මං කරේ අඬපු එක විතරයි. 
 
අඬන්න එපා.
මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මේ මනුස්සයා මට අඬන්න එපාලු.
 
කේෂ්වර...
 
මං අඬ අඬ එයාගෙ නම මිමිනුවා.
 
වේදා...මට...
 
එයා අමාරුවෙන් ගොත ගහනවා.
 
කතා කරන්න එපා....ඔයාට.....අමාරුයිනෙ...අනේ....
 
එයා හිනා වෙනවා. කඳුළු අතරින් හිනා වෙනවා.
 
වේදා...මට....තවත්...බෑ...
 
නෑ....පුළුවන්....ඔහොම...කිය..න්න..එපා...
 
මං ඇඬුවා. හයියෙන් එයාව බදාගෙන ඇඬුවා. 
 
වේදා...මට...කැහ්....
 
එයා ලේ වමනෙ දානවා.
 
කේෂ්වර අනේ....
 
මට...තව...බෑ...
 
නෑ...ambulance එක එනකන් ඉන්න
 
මං කෑ ගැහුවා.
 
වේදා...මං...ආදරෙයි...
 
එයා කියලා මං දිහා බලන් හිනා වුණා. මගේ කම්මුල අල්ලන් හිටිය එයාගෙ අත එක සැරේම පහළට කඩන් වැටෙද්දි මං කෑ ගහලා ඇඬුවා. Ambulance එක ආවත් එයාලා පරක්කු වැඩි.
 
අපේ කතාව පටන් ගන්නත් කලින්ම දෛවය අපේ කතාවෙ අවසානය ලියලා තිබුණා. එදා ඉදන් අද වෙනකන් හැමදාම කල්පනා කරනවා විතරයි. එදායින් පස්සෙ කවදාවත් මම library ගියේ නෑ. මට දුකයි. හුඟක්ම දුකයි. මාස ගානක් තනියම ඔහේ ඇඬුවා. එයා මං අඬනවට කැමති නෑ. එයා මට අඬන්න එපා කිව්වා. ඒත් බෑ. මට අඬන්න ඕන. 
 
 
එදා මං එයාව අන්තිමට දැක්ක වෙලාවෙ එයා පෙට්ටියක් ඇතුළෙ හරි ලස්සනට නිදාගෙන හිටියා. මං එයාට ආදරේට එයාට සකුරා මල කිව්වට ඇත්තටම එයා සකුරා මලක් වගේ පිපිලා ඉක්මනින් මාව දාලා පරවෙලා යයි කියලා මං හිතුවෙ නෑ. 
 
ආයිත් ඒ තද කළු ඇස් මං දිහා බලන්නෙ නෑ. ඒ හිනාව මට බලන්නත් බෑ. මේකද අපේ කතාව. පටන් ගන්න කලින්ම ලියවිලා ඉවරයි. ඒත්,
 
                   මං ඔයාට හරි ආදරෙයි
 
 

Dakshini Navoda

1 Blog mga post

Mga komento